මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අනුබද්ධිත, LRDC සේවා සමාගම, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආරක්‍ෂක සේවාවන් සපයන සමාගමක් වශයෙන් වසර 17ක නොබිඳුනු විශ්වාසයක් සහිතව සේවාලාභි ආයතන වෙත සේවාවන් සපයමින් සිටින අතර, මේ වන විට 4000කට අධික ආරක්‍ෂක නිලධාරින් සහ නිලධාරිනියන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සතුව, දිවයිනේ ප‍්‍රමුඛතම ආරක්‍ෂක සේවා සමාගම බවට පත්ව තිබේ.

LRDC සේවා සමාගමේ සේවය කරන මෙම කාර්ය මණ්ඩලයේ අභිමානය හා චිත්ත ධෛර්යය ඉහල නැංවීමටත්, සේවය ඇගයීමටත් ‘‘සුරක්‍ෂා අභිමන්’’ නමින් විශේෂ උපහාර උළෙලක් සංවිධානය කර ඇත. අප සමාගම විසින් සේවය ලබා දෙන සහ සේවය ලබාදීමට බලාපොරොත්තු වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතර අප ආයතනයේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීම මෙම උළෙලේ තවත් අරමුණකි. ‘‘සුරක්‍ෂා අභිමන්’’ නමින් නම් කොට ඇති මෙම සම්මාන උළෙල සහ ප‍්‍රසංගය 2017 මාර්තු 11වන දින සවස 3.00ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

හා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුර හොබවන එස්.එම්.ඩී. ටියුඩර් පෙරේරා මහතා අප සමාගමේ නව අධ්‍යක්‍ෂවරයෙකු ලෙස පත්විය. එතුමා කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් බිහිවූ දක්‍ෂ වෘත්තීය නීතිඥයෙකු වන අතර කොළඹ මහ නගර සභාවේ නීති කමිටුවේ සභාපතිද වේ.

LRDC සමාගමේ සහෝදර සමාගමක් වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පුද්ගලික සමාගමේ (REDECO) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සිවිල් ඉංජිනේරු ජයන්ත බණ්ඩාර මහතා අප සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් පත්විය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල ඉහළ විධායක තනතුරු හොබවා ඇති මෙතුමා සුදුසුකම්ලත් අලෙවිකරණ කළමණාකරුවෙකුද වේ.

නව අධ්‍යක‍ෂ (පාලන) ධූරයෙන් පත්වීම් ලැබූ ප්‍රේමදාස කොඩිතුවක්කු මහතා 2017 පෙබරවාරි 01 වැනිදා සිට LRDC සේවා සමාගමේ වැඩ භාරගන්නා ලදී. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජෙනරාල්වරයෙකු වශයෙන් තනතුරු හෙබවූ මෙතුමා සබරගමුව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරෙයකුද වේ.

එමෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වසර 20ක සේවයෙන් පසුව විශ්‍රාම ගනු ලැබූ මේජර් ප්‍ර‍භාත් කුමාර මහතා LRDC සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මානව සම්පත්) ලෙස අධ්‍යක්‍ෂ (පාලන) ප්‍රේමදාස කොඩිතුවක්කු මහතාට සහය වෙමින් මහඟු සේවයක් ඉටු කරනු ලබයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LRDC ආරක්‍ෂාව

2017 පෙබරවාරි 7 සිට 21 දක්වා කොළඹ පැවති ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරඟ සඳහා, LRDC සමාගම විසින් ආරක්‍ෂාව සැපයීය. ආරක්‍ෂක නිලධාරීන් 150කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් ක්‍රීඩාංගන 4ක විධිමත් ආරක්‍ෂක සේවයක් ලබා දීමට LRDC ආරක්‍ෂක සේවය කටයුතු කළේය.

එමෙන්ම කොළඹ පිහිටි ප්‍ර‍සිද්ධ පාසල් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟ සඳහා ආරක්‍ෂාව සැපයීමද, මාර්තු 7 වන දින ආරම්භ කෙරෙන බංගලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය සඳහා ආරක්‍ෂාව සැපයීම LRDC සමාගම විසින් සිදු කරයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සියළුම ජාත්‍යන්තර තරඟ සඳහා අවශ්‍ය සිවිල් ආරක්‍ෂක නිලධාරීන් LRDC ආයතනයෙන් ලබා ගැනීමට ක්‍රියාකර ඇත.

LRDC සේවා සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘‘සුරක්‍ෂා අභිමන්’’ සම්මාන උළෙලට සමගාමීව, එහි සේවය කරනු ලබන ආරක්‍ෂක නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ ගායන, වාදන සහ නර්තන කුසලතා ඇගයීම සඳහා වූ තෝරාගැනීමේ වටය 2017 ජනවාරි 28වන දින ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි. ප්‍ර‍වීණ කලාකරුවකු බුද්ධදාස ගලප්පත්ති මහතා, ප්‍ර‍වීණ සංගීතඥ නවරත්න ගමගේ මහතා සහ සිනමාවේදී විමුක්ති ජයසුන්දර මහතා විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල අතර ‘‘සුරක්‍ෂා අභිමන්’’ සම්මාන උළේලේදී ජයග්‍රාහකයින් හට කුසලාන හා සහතික පත්‍ර‍ ලබා දීමට අමතරව ඔවුන්ට තම හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවක් ලබා දීමටද කටයුතු කෙරේ.

LRDC සේවා සමාගමේ සේවා කාලය වසර 18ක් ඉක්මවූ අාරම්භක නිලධාරීන්ට උපහාර දැක්වීම ‘‘සුරක්‍ෂා අභිමන්’’ උළෙලේ තවත් එක් සුවිශේෂි අංගයකි. 1999 ජනවාරි 01 දින සිට 2017 ජනවාරි 01 දිනට සේවා කාලය වසර 18ක් පිරෙන නිලධාරීන් 133කට මෙහිදී පදක්කම් සහ වටිනා සහතික පත්‍ර‍යක් පිදෙන අතර ඔවුන් සියල්ලන්ම ‘‘ජ්‍යේෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්’’ ලෙස උසස් කෙරේ.

කළාප කළමණාකාර එම්. අරුණශාන්ත මහතා


LRDC සේවා සමාගමේ කළාප කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන එම්. අරුණශාන්ත මහතා 2004 වර්ෂයේදී සේවයට බැඳුනි. සේවා ස්ථාන 42ක සේවය කරන ආරක්‍ෂක නිලධාරීන් 300ක් මොහු යටතේ සේවය කරන අතර දියත උයන, රිජ්වේ ආර්යා ළමා රෝහල, ආකේඩ් නිදහස් චතුරස්‍ර‍ය, කාසල් වීදියේ කාන්තා රෝහල වැනි දිවයිනේ සුප්‍ර‍ිද්ධ ජනාකීර්ණ ස්ථාන වල පරීක්‍ෂාව සහ ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමේ මහඟු සේවයක් ඔහු විසින් ඉටු කරයි.

LRDC සේවා (පුද්) සමාගම
28/10, කිරිමණ්ඩල මාවත, නාවල, රාජගිරිය, ශ්‍රී ලංකාව.
දු.ක: (+94) 11 2 861 948
ෆැක්ස්: (+94) 11 2 888 295
විද්‍යුත් ලිපිනය: info@lrdcservices.com